අද මම රාජකාරිමය කටයුත්තකට කොළඹ ගිහින් නැවත නිවසට පැමිණීම සඳහා මහරගමින් අධිවේගී මාර්ගයේ බසයකට නැග්ගා. සවස 4.00 ට පමණ බසය ගමන් ආරම්භ කර සුළු මොහොතකින් එහි සිටි කාන්තාවක් බසය නවත්වන ලෙස ආයාචනා කළා. ඊට හේතුවවත නොඇසූ කොන්දොස්තර මහතා ඇයට දෝෂාරෝපණය කර රු. 470ක් ගෙවා බසයෙන් බහින්න පුළුවන් යයි කියූ අතර සෑහෙන දුරක් ගොස් බසය නතර කළා. ඇය බසයෙන් බහින්න සූදානම් වුනා. ඇයත් සමඟ ඇගේ වයස්ගත පියාත් සිටියා. ඒ බව දුටු කොන්දොස්තරවරයා නැවත ඇයට පැවසුවේ රු. 940ක් ගෙවිය යුතු බවයි. මහරගම සිට බස් හෝල්ට් 2 ක් හෝ ක් අධිවේගී මාර්ගයේ බස් රියක පැමිණ ඉන් බැස රු. 940ක් ගෙවා එම අසරණ පියාත් දියණියත් ඉවතට යනු මා බස් රියේ වීදුරු අතරින් බලා සිටියා.
බස්රියට නැගගත් කොන්දොස්තරවරයා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගෙන පැවසූවේ දෙදෙනෙක් මහරගමින් නැග නැවත බසයෙන් බැස්ස නිසා රු. 940ක් අයකරගෙන ටිකට් නිකුත් කළ බවයි. මුදල් ලබා දුන් බව දුටු නමුත් ටිකට් පතක් නිකුත් කරනු මා දුටුවේ නැහැ. කොන්දොස්තරවරයා එම මුදල ලබාගත්තේ බසයෙන් බැහැලා. ඒ නිසා බස්රිය තුල සිටි අයට සිදුවූයේ කුමක් දැයි දැකගන්න බැරි වුනා. අනෙක ඒ දුරකථන ඇමතුමට සත්‍ය වශයෙන් ම කෙනෙක් සම්බන්ධ කරගත්තා ද නැද්ද යන්නත් සැකයි. මට හිතුනේ බස් එකේ හිටිය මගීන්ට ඇහෙන්නයි ඔහු ඒ කතාව කිව්වෙ කියලා.
මෙහෙම නීතියක් තියෙනවද කියන එක නම් සැකයි. මෙම බස්රථවල ගමන් කරන බෙහෝ අවස්ථාවල හිස් ආසන තිබෙනු මා දැක තිබෙනවා. අනිත් කාරණය තමයි අධිවේගී මාර්ගයට ඇතුල්වෙන්න කලින් තවත් මගියෙක් බස්රථයට ගොඩ වුනා. ඉතින් බසයෙන් බැසගිය පියාට හා දියණියට ද ටිකට් නිකුත් කළා නම් ඔහු ටිකට් 42ක් නිකුත් කර තිබෙනවා. මේ බස්වල හිටගෙන ගමන් කළ නොහැකි නිසා එයත් නීති විරෝධීයි.
මම දැක්ක නරකම දේ මේ අයට මුදල අයකරගැනීමේ අවශ්‍යතාවය මිස ඒ පියාත් දියණියත් මුහුණ දී ඇත්තේ කවර ගැටළුවකට යන්න විමසා බලන ලතෙත් ගතියක් තිබුනේ නැහැ. සමහර විට් ඇයට නැවත යාමට මුදල් තිබුනේද යන්නත් සැක සහිතයි.
අපේ සමහර පෞද්ගලික බස්රථබල සේවකයන් මගීන් සූරා කන්නේ ඔය විදියට තමයි. රු. 1000 හෝ 2000 ඉතිරි සල්ලි දෙන්නත් සමහරුන්ට අමතක වෙනවා. මගියා මතක් කරලා ඉල්ලගන්න ඕන. මේ වගේ තත්වයක් තමයි මේ වෙද්දි පවතින්නේ.










