Thursday, October 31, 2013

අධිවේගී මාර්ගයේ බස් රථ සේවාව......කණගාටුදායකයි.

අද මම රාජකාරිමය කටයුත්තකට කොළඹ ගිහින් නැවත නිවසට පැමිණීම සඳහා මහරගමින් අධිවේගී මාර්ගයේ බසයකට නැග්ගා. සවස 4.00 ට පමණ බසය ගමන් ආරම්භ කර සුළු මොහොතකින් එහි සිටි කාන්තාවක් බසය නවත්වන ලෙස ආයාචනා කළා. ඊට හේතුවවත නොඇසූ කොන්දොස්තර මහතා ඇයට දෝෂාරෝපණය කර රු. 470ක් ගෙවා බසයෙන් බහින්න පුළුවන් යයි කියූ අතර සෑහෙන දුරක් ගොස් බසය නතර කළා. ඇය බසයෙන් බහින්න සූදානම් වුනා. ඇයත් සමඟ ඇගේ වයස්ගත පියාත් සිටියා. ඒ බව දුටු කොන්දොස්තරවරයා නැවත ඇයට පැවසුවේ රු. 940ක් ගෙවිය යුතු බවයි. මහරගම සිට බස් හෝල්ට් 2 ක් හෝ ක් අධිවේගී මාර්ගයේ බස් රියක පැමිණ ඉන් බැස රු. 940ක් ගෙවා එම අසරණ පියාත් දියණියත් ඉවතට යනු මා බස් රියේ වීදුරු අතරින් බලා සිටියා.  

බස්රියට නැගගත් කොන්දොස්තරවරයා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගෙන පැවසූවේ දෙදෙනෙක් මහරගමින් නැග නැවත බසයෙන් බැස්ස නිසා රු. 940ක් අයකරගෙන ටිකට් නිකුත් කළ බවයි. මුදල් ලබා දුන් බව දුටු නමුත් ටිකට් පතක් නිකුත් කරනු මා දුටුවේ නැහැ. කොන්දොස්තරවරයා එම මුදල ලබාගත්තේ බසයෙන් බැහැලා. ඒ නිසා බස්රිය තුල සිටි අයට සිදුවූයේ කුමක් දැයි දැකගන්න බැරි වුනා. අනෙක ඒ දුරකථන ඇමතුමට සත්‍ය වශයෙන් ම කෙනෙක් සම්බන්ධ කරගත්තා ද නැද්ද යන්නත් සැකයි. මට හිතුනේ බස් එකේ හිටිය මගීන්ට ඇහෙන්නයි ඔහු ඒ කතාව කිව්වෙ කියලා.

මෙහෙම නීතියක් තියෙනවද කියන එක නම් සැකයි. මෙම බස්රථවල ගමන් කරන බෙහෝ අවස්ථාවල හිස් ආසන තිබෙනු මා දැක තිබෙනවා. අනිත් කාරණය තමයි අධිවේගී මාර්ගයට ඇතුල්වෙන්න කලින් තවත් මගියෙක් බස්රථයට ගොඩ වුනා. ඉතින් බසයෙන් බැසගිය පියාට හා දියණියට ද ටිකට් නිකුත් කළා නම් ඔහු ටිකට් 42ක් නිකුත් කර තිබෙනවා. මේ බස්වල හිටගෙන ගමන් කළ නොහැකි නිසා එයත් නීති විරෝධීයි. 

මම දැක්ක නරකම දේ මේ අයට මුදල අයකරගැනීමේ අවශ්‍යතාවය මිස ඒ පියාත් දියණියත් මුහුණ දී ඇත්තේ කවර ගැටළුවකට යන්න විමසා බලන ලතෙත් ගතියක් තිබුනේ නැහැ. සමහර විට් ඇයට නැවත යාමට මුදල් තිබුනේද යන්නත් සැක සහිතයි. 

අපේ සමහ‍ර පෞද්ගලික බස්රථබල සේවකයන් මගීන් සූරා කන්නේ ඔය විදියට තමයි. රු. 1000 හෝ 2000 ඉතිරි සල්ලි දෙන්නත් සමහරුන්ට අමතක වෙනවා. මගියා මතක් කරලා ඉල්ලගන්න ඕන. මේ වගේ තත්වයක් තමයි මේ වෙද්දි පවතින්නේ.

Sunday, October 27, 2013

රන් RUN තුලින් දුටු රුහුණු මිණි


Mother ஶ்ரீ ලංකා පාසල් සමාජ වැඩසටහන පාසල් දරුවන්ට ජාතික හැඟීම් වර්ධනය කරමින් තම මට්ටමින් රටට කළ හැකි සේවයන් ඉටු කිරීමට යොමු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක වන ඵලදායී වැඩසටහනක්. 
එම වැඩසටහන යටතේ පාසල්වල ක්‍රියාත්මකවන ව්‍යාපෘති ඇගයීම සඳහා පළාත් මට්ටමෙන් පැවැත්වූ තරඟාවලියක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් මටත් ලැබුණා පසුගිය 24 වන දිනයේ දී. 
උදෑසන 8.30 සිට පස්වරු 8.00 පමණ වන තෙක් එක දිගටම එම කාර්යයේ නියැලෙන්න සිදු වුනත් හිතට සතුටක් දැනුනා. ඒකට එක හේතුවක් තමයි ව්‍යාපෘතියේ අරමුණ සඵල කරගන්න අපේ පාසල් ප්‍රජාව එක්ව දරණ වෑයම. අනෙක අපේ දරුවන් දක්වන කුසලතාවයන්. මේ වැඩසටහන තුලින් හුරුබුහුටි චතුර කතිකයන්, නිවේදකය නිවේදකාවන් වගේම ගායක ගායිකවන් රැසක් ම කැපී පෙනුනා.

Saturday, October 5, 2013

අනෙක් නිලධාරීන්ට හොඳ ආදර්ශයක්

ඇත්තටම හොඳ දෙයක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දක්ෂතා ඇති අය හඳුනාගෙන ඒ අයගේ සේවාවන් ලබාගැනීමට අදහස් කර ඒ අනුව ක්‍රියාත්මක වීම අගය කළ යුතුයි. ඒ වගේම ඉහළ වැටුපක් අතහැරල තමන්ගේ රටට සේවය කරන්න කස්තුරි මහතා තීරණය කිරීමත් සැබවින්ම අගය කළ යුතුයි.
බොහෝ ආයතනවල ප්‍රධානීන් තමා යටතේ සිටින නිලධාරියකු අළුත් දෙයක් කරනවට කැමති නැහැ. ඒ තමන්ගේ නොදැනුවත්බව නිසා හෝ තමන් අභිබවා ඉහළට යාවි කියන බිය නිසා වෙන්න ඇති. තවත් සමහර නිලධාරීන් තමා යටතේ සේවන කරන නිලධාරීන්ගෙන් වැඩ ගන්න හදන්නේ කිසිදු වගවිභාගයකින් තොරව. එම නිලධාරියාට ඒ රාජකාරිය කිරීම හැකියාව තියෙනවද, ඊට අමතරව එම නිලධාරියාට පැවරී ඇති රාජකාරිවල මෙනවද, ඒවත් එක්ක තවත් රාජකාරියක් පැවරීම කෙතරම් සුදුසුද, අදාල නිලධාරියාට ඒ සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවද, ඒ සඳහ ලබා දුන් කාලය ප්‍රමාණවත් ද කියල හිතන්නෙ නැතිව බලෙන් වැඩ ගැනීමක් තමයි බොහෙමයක් ඉහළ නිලධාරීන්ගේ පිළිවෙළ. මේ තත්වයන් යටතේ පහළ නිලධාරීන් රාජකාරි ඉටු කරන්නේ දැඩි පීඩනයකින්. එහෙම වැඩ කරන නිලධාරියකුගෙන් යම් අතපසුවීමක් සිදු වුනොත් ඒ ගැන ක්‍රියාත්මක වෙන්න නම් ඉහළ නිලධාරීන් කටයුතු කරනවා. 
රට දියුණු කරන්න නම් මේ අයගේ ආකල්ප සංවර්ධනය අනිවාර්යයනේම විය යුතු දෙයක්. (ආකල්ප සංවර්ධන වැඩසහටන් නම් කොතෙකුත් කෙරෙනවා. ඒවා ගැන වෙනම ම ලියන් වෙයි.) දුම්රිය දෙපාර්තමේන්තුවෙ ඉහළ නිලධාරීන් සියළුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල නිලධාරීන් හොඳ ආදර්ශයක්.

කලකිරීම

මම මම ම නොවන ලෙස
ලතැවිල්ල, කලකිරීම
සමඟ ගෙවී ගිය 
දිනවලදි හිතට ආ
තරහ මුසු වේදනා
ආයෙ කවදාවත් ම
නොදැනේ වි නම් ...

Friday, October 4, 2013

ගයන පුතාට අකුරු කියවූ දවසේ අපේ පැතුම







     

Traffic

 දයාබර දියණියේ,
 සමාවෙයන් මට
 ගුරුතුමිය තැලුවාට නුඹේ සිත 
 ‘පරක්කු වී‘ පාසලට පැමිණි වරදට...
 උදෙන්ම අවදිව
 පාසල් යන්න හරි ගැහුණ නුඹ
 සීනුව නාද වන තෙක් ම 
 පාර මාරු කරවනු නොහැකිව
 ලත වුනා මං පුරා පැය කාලක්ම ...
 සුපිරි පාසල ඉදිරිපස
 මාපිය උරුමයෙන් මට හිමි වුන
පුංචි නිවහනේ වැට අද්දර සිට ...
 ‘කිලෝ මීටර් 2‘ සීමාවේ පදිංචි 
දරුවන් පාසල් රැගෙන එන
 ‘පාසල් සේවා‘ සහ ‘සුපිරි‘ රිය පෙළ
සෑහෙන්න දිගු නිසා...
(ගිය සතියේ දවසක් ජාතික පාසලක් අසල වාහන තදබදය නිසා බස් එකේ සෑහෙන වෙලාවක් ඉද්දි මවක් දියණිය පාර මාරු කරන්න ගත්ත උත්සාහය දැකල තමයි මේ අදහස හිතට ආවෙ. මේ දවස්වල පළමු ශ්‍රේණියට ළමයි ඇතුලත් කිරීමේ තරඟයත් තියෙනවනේ.)

දසුනින් ඈතක වූවත් ...






දසුනින් ඈත් වූ කල
මතකයෙන් ගිලිහේ යයි
කීවේ කව්රුන් ද
ඒ කවර බොරුවක් ද
දෑසට නොපෙනෙන 
ඈතක වුව අප
දිනකට බොහෝ වර
නුඹ රඟයි 
මගේ සිත පුරා




(පාසල් මිතුරුදම්වලට වඩා විශ්වවිද්‍යාලයෙ දි,  ඒ වගේ මසීමිත පිරිසක් වූ මා සේවය කළ ආයතනයේ දී ඇති වූ මිතුරු දම් දැඩියි. ඉතින් විශ්වවිද්‍යාලයෙන් නික්මුණු පසු, ඒ වගේ ම පළමු රැකියා ආයතනයෙන් ඉවත් වුනු පසු මගේ මිතුරු මිතුරියන් ගැන නිතර මට මතක් වෙනවා. අදත් ඒ සුන්දර මතකයන් මට හොඳින් මතකයි. )







   

නියමයන් බොරු වුනා ...

ළං වුනා නුඹ මට
නොසිතූ වේගයෙන් ..
වෙන් වුනා නුඹ මගෙන්
වඩා වැඩි වේගයෙන් ...
ඉතින් බොරු වුනා
ගණිත පන්තියෙදි
මා උගත් නියමයක් ...
"ගැටුමක දී ළං වීමේ වේගය
වෙන් වීමේ වේගයට වැඩිය" යන ...

(උසස්පෙළ විභාගයට ඉදිරිපත් වීමෙන් පස්සේ වෙනත් පාඨමාලාවක් කරන අතරෙ මගේ යෙහෙළියකට මුහුණ දෙන්න සිදු වුන දෙයක් ගැන මට හිතුනෙ මෙහෙමයි)

එපා අනේ තරහ වෙන්න මාත් එක්කලා ...

නිල් ම නිල් ආකහේ ඈතට වී ඉඳන්
ඇයි අපට ඔරවන්නෙ ඔබ කිව්වෙ නෑ .....
පෙර දිනයක හැන්දෑවේ ආච්චිගෙන් අහගත්තා
ඒ (අ)මිහිරි කතන්දරේ හරි දුක හිතුනා ...

ඉස්සර නම් මේ අඩවිය හරිම හරි ලස්සන ලු
හැම තැන ගස් වැල් පිරිලා නිල් පැහැයෙන් දිලුනලු ...
ගස් වැල් වල මල් පිපිලා සුවඳ දසත පැතිරුනාලු
සමනළයන් මී මැස්සන් මනහර රැඟුමන් පෑවලු ...
ඇලේ දොළේ රැළි අතරින් මාළු රෑන් පිහිනුවාලු
කොක් නයිදේ ගල මත හිඳ නව ගුණ වැල ගණිනවාලු ...

ගොයම් කරල් කිරි වැදිලා පොළව දෙසට නැමුනලු
ඒ දැකලා ගොවි රාළගෙ සිත සතුටෙන් පිරුණලු....
පුංචි ළමෝ ලන්දෙ කැලේ කෙළි සෙල්ලම් කළාලු
ඔවුන්ගේ දඟ කම් දැකලා වැඩිහිටියන් තුටු වුනාලු ...
බෝපත් වල සිලි සිලි හඬ ගමට ම ආසිරි පැතුවලු...
ගමේ ගොඩේ කොයි කවුරුත් හරි සන්තෝසෙන් හිටියලු...

ගැමියන්ගේ උගත් දරුවො සුවිසල් මන්දිර තැනුවලු
පහනෙ එළිය මදි වීමෙන් විදුලි රැහැන් ගම ඇද්දලු ...
රෝද මතින් යන්න සිතා මං මාවත් ඉඳි කෙරුවලු
ගමේ තිබුණු ගස් වැල් ටික එකිනෙක කපලා දැම්මලු ...
මේ අයුරින් හරි විගසින් මේ ගම නුවරක් වුනාලු
සොබා සොඳුරු රූ සිරියා කොහේද සැඟවී ගිහින් ලු ...

ඒකනේ ඔබ ඔරවන්නෙ ඔතැනට වී ඉඳන්
මා එක්කලත් තරහද මම දන්නෙ නෑ...
ඒත් ඉතින් මම නොවෙයිනෙ ගම නුවරක් කෙරුවේ
එපා අනේ තරහ වෙන්න මාත් එක්කලා...

( මට මතක විදියට 10 හෝ 11 පන්තියේ ඉන්න කාලේ නිර්මාණයක්)

අප්පච්චි එන්නෙ නෑ ...

පුංචි නෙත් යොමා
පුංචි මුව අයා
බලා සිටියත් නුඹ
අප්පච්චි එන තුරා...
නුඹ දකින්නට
නුඹ රකින්නට
අප්පච්චි එන්නෙ නෑ ...
ඔහු දිවි ඇති නැති වග
කවුරුවත් දන්නෙ නෑ...
ඉතින් මගේ පුංචි පුතේ
බලා ඉඳුමෙන් පළක් නෑ...


(ඒ දවස්වල යුද්ධය හැමෝටම ගෙන දුන්නේ බයක් වගේ ම දුකක්. යුද්ධය නිසා අහිමි වන ජීවිත, ඒ නිසා අසරණ වන ජීවිත පිළිබඳ අපි අහපු කතා එමටයි. එහෙම කතාවක් ගැනයි මෙය ලියවුනේ)

මතු දින බුදු වන මෙතේ බුදුන් වෙනුවෙන්

නිල්පාට කොළ වලට
තුරු ලතා මාරු කර
කොන්ක්‍රීට් ලොව තනන
කෘරතර මිනිසුනේ
කරන්නෙමි නුඹට මම
එකම ආයාචනයක්
ඉඳි කර තබනු මැන
තවත් එකම එක
කොන්ක්‍රීට් කණුවක්
මතු දිනක බුදු වන්න
පාරමී දම් පුරන
මෙතේ බුදුන් වෙනුවෙන්...

(මහින්ද විද්‍යාලයේ තරණය සඟරාවේ පළ වූ නිසඳැස)

My Thoughts කියන නමින් මේ Blogඑක පටන් ගන්න හේතුව


පාසල් යන අවධියේ සිටම චිත්‍ර අඳින්න, නිසඳැස් ලියන්න (ඒ තරම් දක්ෂ නැතත්) මම කැමැත්තක් දැක්වූවා. ‘රත්නසභා මණ්ඩපය‘ මම ඒ දවස්වල ආසාවෙන් සවන් දුන් ගුවන්විදුලි වැඩසටහනක්. මම මුලින් ම නිර්මාණයක් ඉදිරිපත් කළේ ඒ වැඩසටහනට. ඉතින් ඒ නිර්මාණය තැපැල් කරලා ඊළඟ සතියේ හරි බරි ගැහිලා ගුවන්විදුලිය ළඟ ඉඳගෙන හිටියත් මගේ නිර්මාණය විකාශය උනේ නෑ. මට ඇත්තටම දුක හිතුනා. ඒත් පස්සේ දවසක මගේ යාළුවෙක් (අනුපමා ඩයස් - අද එයා වෛද්‍යවරියක්) කිව්වා රත්න සභා මණ්ඩපය හරහා මගේ නිර්මාණය විකාශය වූ බව. ඉතින් මම ගොඩක් සතුටු වුනා. 


ඒත් පුරුද්දක් විදියට ඒවගේ නිර්මාණ ඉදිරිපත් කළේ නෑ. ඒකට කවුරුවත් මාව උනන්දු කළෙත් නෑ. සමහරවිට මගේ නිර්මාණ ඒ තරම් හරි නෑ කියලා පූර්ව නිගමණයකට ඇවිත් හිටිය නිසා වෙන්න ඇති. 



චිත්‍ර තරඟවලට අපි මහන්සිවෙලා චිත්‍ර ඇන්දා. අපි හිතුවේ අපිට වඩා දක්ෂ ළමයි ඒ තරඟ දිනන්න ඇති කියලයි. ඒත් පස්සේ තමයි අපට තේරුනේ අපේ ගුරුතුමී ඒ චිත්‍ර තරඟවලට ඉදිරිපත් කරලා නැති බව. ඊට පස්සේ තරඟවලට චිත්‍ර ඇඳිල්ල අපි අතඇරියා. ඒ දවස්වල අපේ පාසලේ ප්‍රධාන ශාලාවට ඉහළින් බිත්තියේ ඇඳලා තිබුණ සිතුවමට මමත් දායක වුනා. අද ඒ සිතුවම එතැන නෑ.

ඒ දවස්වල අඛන්ඩ ඇගයීම් කියන එක මගේ යාළුවො හැමෝටම හිසරදයක් වෙලයි තිබුනේ. ඒත් මම ඒ සියල්ල ආසාවෙන් කළා. half sheets වටේ කොටු ගහලා පාට පාට වට අකුරු ලියල පින්තූර ඇඳල හරි අලවල හරි ලස්සන නිර්මාණ කරන්න මම හුඟක් ආස කළා. අදත් සමහර නිර්මාණ මා ළඟ තියෙනවා. සිංහල විෂයය ට අපට නිර්මාණ එකතුවක් කරන්න සිද්ධ වුනා. ඒකට මම නිසඳැස් විතරක් නෙවෙයි කවි පන්තියකුත් ලිව්වා බොහොම අමාරුවෙන්. කෙටි කතා, නාට්‍ය එහෙමත් ලිව්වා. අපේ ගුරුතුමිය ඒවා අපට ආයෙත් දුන්නෙත් නෑ. අද වගේ ඡායා පිටපත් කිරීම් ඒ දවස්වල බහුල නොවුනු නිසාත්, ඒ තරම් අගයක් නොදැනුනන නිසාත් පිටපතක් තියාගන්න බැරි වුණ එක ගැන දැන් නම් දුක හිතෙනවා.


මම උසස්පෙළ ඉගෙනගන්න අවධියේ මහින්ද විද්‍යාලයේ සඟරාවකට මගේ නිර්මාණයක් ඉදිරිපත් කළා. එය එම සඟරාවේ පළ වුණා.

ඒ තරම් ම ලස්සන නැති වුනත් නිර්මාණවල වස්තු බීජය මගේ ම අත් දැකීම් නොවුනා වුනත් මම මගේ නිර්මාණවලට ආස කළා. ඒවා එකතු කළා. ඒ සියල්ල නැතත් අදත් සමහර නිර්මාණ මා ළඟ සුරැකිව තියෙනවා. ඒත් වරින් වර ඒවා කියවද්දි කහ ගැහුන පරණ කොළ දැකලා digital කළොත් හොඳයි කියල හිතල දැන් කාලයක් වෙනවා. එ හින්දා තමයි My Thoughts කියන නමින්  මේ   Blogඑක පටන් ගත්තේ. 

රාජකාරිය නිසාම අවිවේකීව ගත කරද්දි දකින සමහර දේවල් ලියන්න හිතුනත් වෙලාවක් නැති කම නිසා ඒ සිතිවිලි මැකිලා යනවා. ඒ නිසා ඉදිරියේ දී පෑන පැන්සල වෙනුවට පරිගණක තිරය යොදාගන්න එක පහසුයි කියලා හිතෙන්නේ දැන් පෑන පැන්සල අතට ඒ තරමට ම නුහුරු වෙලා නිසා.

(බලමුකෝ ඉතින් පටන් ගත්තා වගේම කරගෙන යයි ද කියලා.)