Friday, October 4, 2013

නියමයන් බොරු වුනා ...

ළං වුනා නුඹ මට
නොසිතූ වේගයෙන් ..
වෙන් වුනා නුඹ මගෙන්
වඩා වැඩි වේගයෙන් ...
ඉතින් බොරු වුනා
ගණිත පන්තියෙදි
මා උගත් නියමයක් ...
"ගැටුමක දී ළං වීමේ වේගය
වෙන් වීමේ වේගයට වැඩිය" යන ...

(උසස්පෙළ විභාගයට ඉදිරිපත් වීමෙන් පස්සේ වෙනත් පාඨමාලාවක් කරන අතරෙ මගේ යෙහෙළියකට මුහුණ දෙන්න සිදු වුන දෙයක් ගැන මට හිතුනෙ මෙහෙමයි)

එපා අනේ තරහ වෙන්න මාත් එක්කලා ...

නිල් ම නිල් ආකහේ ඈතට වී ඉඳන්
ඇයි අපට ඔරවන්නෙ ඔබ කිව්වෙ නෑ .....
පෙර දිනයක හැන්දෑවේ ආච්චිගෙන් අහගත්තා
ඒ (අ)මිහිරි කතන්දරේ හරි දුක හිතුනා ...

ඉස්සර නම් මේ අඩවිය හරිම හරි ලස්සන ලු
හැම තැන ගස් වැල් පිරිලා නිල් පැහැයෙන් දිලුනලු ...
ගස් වැල් වල මල් පිපිලා සුවඳ දසත පැතිරුනාලු
සමනළයන් මී මැස්සන් මනහර රැඟුමන් පෑවලු ...
ඇලේ දොළේ රැළි අතරින් මාළු රෑන් පිහිනුවාලු
කොක් නයිදේ ගල මත හිඳ නව ගුණ වැල ගණිනවාලු ...

ගොයම් කරල් කිරි වැදිලා පොළව දෙසට නැමුනලු
ඒ දැකලා ගොවි රාළගෙ සිත සතුටෙන් පිරුණලු....
පුංචි ළමෝ ලන්දෙ කැලේ කෙළි සෙල්ලම් කළාලු
ඔවුන්ගේ දඟ කම් දැකලා වැඩිහිටියන් තුටු වුනාලු ...
බෝපත් වල සිලි සිලි හඬ ගමට ම ආසිරි පැතුවලු...
ගමේ ගොඩේ කොයි කවුරුත් හරි සන්තෝසෙන් හිටියලු...

ගැමියන්ගේ උගත් දරුවො සුවිසල් මන්දිර තැනුවලු
පහනෙ එළිය මදි වීමෙන් විදුලි රැහැන් ගම ඇද්දලු ...
රෝද මතින් යන්න සිතා මං මාවත් ඉඳි කෙරුවලු
ගමේ තිබුණු ගස් වැල් ටික එකිනෙක කපලා දැම්මලු ...
මේ අයුරින් හරි විගසින් මේ ගම නුවරක් වුනාලු
සොබා සොඳුරු රූ සිරියා කොහේද සැඟවී ගිහින් ලු ...

ඒකනේ ඔබ ඔරවන්නෙ ඔතැනට වී ඉඳන්
මා එක්කලත් තරහද මම දන්නෙ නෑ...
ඒත් ඉතින් මම නොවෙයිනෙ ගම නුවරක් කෙරුවේ
එපා අනේ තරහ වෙන්න මාත් එක්කලා...

( මට මතක විදියට 10 හෝ 11 පන්තියේ ඉන්න කාලේ නිර්මාණයක්)

අප්පච්චි එන්නෙ නෑ ...

පුංචි නෙත් යොමා
පුංචි මුව අයා
බලා සිටියත් නුඹ
අප්පච්චි එන තුරා...
නුඹ දකින්නට
නුඹ රකින්නට
අප්පච්චි එන්නෙ නෑ ...
ඔහු දිවි ඇති නැති වග
කවුරුවත් දන්නෙ නෑ...
ඉතින් මගේ පුංචි පුතේ
බලා ඉඳුමෙන් පළක් නෑ...


(ඒ දවස්වල යුද්ධය හැමෝටම ගෙන දුන්නේ බයක් වගේ ම දුකක්. යුද්ධය නිසා අහිමි වන ජීවිත, ඒ නිසා අසරණ වන ජීවිත පිළිබඳ අපි අහපු කතා එමටයි. එහෙම කතාවක් ගැනයි මෙය ලියවුනේ)

මතු දින බුදු වන මෙතේ බුදුන් වෙනුවෙන්

නිල්පාට කොළ වලට
තුරු ලතා මාරු කර
කොන්ක්‍රීට් ලොව තනන
කෘරතර මිනිසුනේ
කරන්නෙමි නුඹට මම
එකම ආයාචනයක්
ඉඳි කර තබනු මැන
තවත් එකම එක
කොන්ක්‍රීට් කණුවක්
මතු දිනක බුදු වන්න
පාරමී දම් පුරන
මෙතේ බුදුන් වෙනුවෙන්...

(මහින්ද විද්‍යාලයේ තරණය සඟරාවේ පළ වූ නිසඳැස)

My Thoughts කියන නමින් මේ Blogඑක පටන් ගන්න හේතුව


පාසල් යන අවධියේ සිටම චිත්‍ර අඳින්න, නිසඳැස් ලියන්න (ඒ තරම් දක්ෂ නැතත්) මම කැමැත්තක් දැක්වූවා. ‘රත්නසභා මණ්ඩපය‘ මම ඒ දවස්වල ආසාවෙන් සවන් දුන් ගුවන්විදුලි වැඩසටහනක්. මම මුලින් ම නිර්මාණයක් ඉදිරිපත් කළේ ඒ වැඩසටහනට. ඉතින් ඒ නිර්මාණය තැපැල් කරලා ඊළඟ සතියේ හරි බරි ගැහිලා ගුවන්විදුලිය ළඟ ඉඳගෙන හිටියත් මගේ නිර්මාණය විකාශය උනේ නෑ. මට ඇත්තටම දුක හිතුනා. ඒත් පස්සේ දවසක මගේ යාළුවෙක් (අනුපමා ඩයස් - අද එයා වෛද්‍යවරියක්) කිව්වා රත්න සභා මණ්ඩපය හරහා මගේ නිර්මාණය විකාශය වූ බව. ඉතින් මම ගොඩක් සතුටු වුනා. 


ඒත් පුරුද්දක් විදියට ඒවගේ නිර්මාණ ඉදිරිපත් කළේ නෑ. ඒකට කවුරුවත් මාව උනන්දු කළෙත් නෑ. සමහරවිට මගේ නිර්මාණ ඒ තරම් හරි නෑ කියලා පූර්ව නිගමණයකට ඇවිත් හිටිය නිසා වෙන්න ඇති. 



චිත්‍ර තරඟවලට අපි මහන්සිවෙලා චිත්‍ර ඇන්දා. අපි හිතුවේ අපිට වඩා දක්ෂ ළමයි ඒ තරඟ දිනන්න ඇති කියලයි. ඒත් පස්සේ තමයි අපට තේරුනේ අපේ ගුරුතුමී ඒ චිත්‍ර තරඟවලට ඉදිරිපත් කරලා නැති බව. ඊට පස්සේ තරඟවලට චිත්‍ර ඇඳිල්ල අපි අතඇරියා. ඒ දවස්වල අපේ පාසලේ ප්‍රධාන ශාලාවට ඉහළින් බිත්තියේ ඇඳලා තිබුණ සිතුවමට මමත් දායක වුනා. අද ඒ සිතුවම එතැන නෑ.

ඒ දවස්වල අඛන්ඩ ඇගයීම් කියන එක මගේ යාළුවො හැමෝටම හිසරදයක් වෙලයි තිබුනේ. ඒත් මම ඒ සියල්ල ආසාවෙන් කළා. half sheets වටේ කොටු ගහලා පාට පාට වට අකුරු ලියල පින්තූර ඇඳල හරි අලවල හරි ලස්සන නිර්මාණ කරන්න මම හුඟක් ආස කළා. අදත් සමහර නිර්මාණ මා ළඟ තියෙනවා. සිංහල විෂයය ට අපට නිර්මාණ එකතුවක් කරන්න සිද්ධ වුනා. ඒකට මම නිසඳැස් විතරක් නෙවෙයි කවි පන්තියකුත් ලිව්වා බොහොම අමාරුවෙන්. කෙටි කතා, නාට්‍ය එහෙමත් ලිව්වා. අපේ ගුරුතුමිය ඒවා අපට ආයෙත් දුන්නෙත් නෑ. අද වගේ ඡායා පිටපත් කිරීම් ඒ දවස්වල බහුල නොවුනු නිසාත්, ඒ තරම් අගයක් නොදැනුනන නිසාත් පිටපතක් තියාගන්න බැරි වුණ එක ගැන දැන් නම් දුක හිතෙනවා.


මම උසස්පෙළ ඉගෙනගන්න අවධියේ මහින්ද විද්‍යාලයේ සඟරාවකට මගේ නිර්මාණයක් ඉදිරිපත් කළා. එය එම සඟරාවේ පළ වුණා.

ඒ තරම් ම ලස්සන නැති වුනත් නිර්මාණවල වස්තු බීජය මගේ ම අත් දැකීම් නොවුනා වුනත් මම මගේ නිර්මාණවලට ආස කළා. ඒවා එකතු කළා. ඒ සියල්ල නැතත් අදත් සමහර නිර්මාණ මා ළඟ සුරැකිව තියෙනවා. ඒත් වරින් වර ඒවා කියවද්දි කහ ගැහුන පරණ කොළ දැකලා digital කළොත් හොඳයි කියල හිතල දැන් කාලයක් වෙනවා. එ හින්දා තමයි My Thoughts කියන නමින්  මේ   Blogඑක පටන් ගත්තේ. 

රාජකාරිය නිසාම අවිවේකීව ගත කරද්දි දකින සමහර දේවල් ලියන්න හිතුනත් වෙලාවක් නැති කම නිසා ඒ සිතිවිලි මැකිලා යනවා. ඒ නිසා ඉදිරියේ දී පෑන පැන්සල වෙනුවට පරිගණක තිරය යොදාගන්න එක පහසුයි කියලා හිතෙන්නේ දැන් පෑන පැන්සල අතට ඒ තරමට ම නුහුරු වෙලා නිසා.

(බලමුකෝ ඉතින් පටන් ගත්තා වගේම කරගෙන යයි ද කියලා.)